Related Posts Plugin for WordPress, Blogger...

සත් වසරකට පසු....

‍රැව් පිළි නැගි මියුරු සංගිත නාදයෙන් ගැවසිගත් පරිසරයේ,නානප්‍රකාර ආටොපයන් ගෙන් සැරසී ගත් වීදි පසු කරමින් මාත් අම්මාත් තාත්තාත් නිවෙස් කරා පැමිණියේ හවස් යාමයේ මාගේ කන්කෙදිරියට අනුව චිත්‍රපටයක රස විදිමට ගොස් නැවතත් පන්සලට ගොස් බොධි පුජාවකට සහභාගි විමෙන් අනතුරුවය.ඒ වන විටත් වේලාව 10 හෝ 10 පසු වී තිබෙන්නට ඇත.වෙනදා මෙන් රාත්‍රි ආහාරය ගැනිමෙන් පසු නින්දට යාමට අවශ්‍යව තිබුණද උසස් පෙළ කඩයිම් විභාහගය අත ළගටම පැමිණි ඇති බැවින් එය කෙසේවත් සිදු නොකළ හැකි දෙයක් විය.එබැවින් පොතක් අතට ගෙන පු‍ටුවකට බර වුණු මට ගාලු ප්‍රධාන පාරේ අලංකාරත්වය දුලබ දර්ශනයක් නොවුවද ,හොරා කිහිපයකට කලින් ඇසුනු මියුරු නාදයන් පරයමින් දැනට ඇසෙන්නේ මාවවුලන් ගේ ශෝචනිය හඩයි,විදි පුරා ආලෝකමත් කල එළි එකිනෙකින් සැගවි ගත් හෙයින් දසත අදුර රජයමින් තිබුණද පුර හදම නොවුවද ඒ අදුර මකාලන්නට සදට හැකි වි තිබිණී.එතෙක් වේලා ඇගේ දැවටෙමින් තිබු සුළං ‍රැල්ලෙන් වෙනදාට වඩා ගත සිතලෙන් වෙලෙන්නට වුයේ සිත කාළගුණය නිසාද..? එසේ නොමැති නම් නිවෙසින් මිටර් 50 ක් වත් ඇතින් නොවු මුහුදේ විපර්සාසයකට ද කිමට මා තවමත් නොදනී.
කෙසේ හෝ පසුදාට පහන් විය.තිර රෙදි අතරින් හිරු එළිය ඇවිදින් අලුත් දිනකට සුභ පතත් දී ඇදෙන් බිමට පැන්න මට සුදු වතින් පන්සල් කරා ඇදෙන උපාසික උපාසිකාවන් ගේ සිරිය තව තවත් උදැසන ප්‍රබෝධමත් කරන දර්ශනයක් විය.පොය දවසකටත් නිවනක් නොවු තාත්තා අද රාජකාරියට නොගොස් නිවහනේම ‍රැදි සිටියේ නොලැක්විය හැකි ගමනක් අප හට යෙදි තිබු නිසාවෙනි.සුපුරුදු පරදි මම මුහුණ කට සොදා ගැනිමට යන විටත් තාත්තා කෑම මේසයේ අසුන් ගෙන සිටි අතර අම්මා කෑම මේසය සකස් කරම්න් සිටියාය.එක් වරම ... පළාත දෙදරා ගෙන යන තරම් විශාල ශබ්දයක් ඇසුණු බවක් මතකය .එතනින් පස්සේ සිදු වුණු හැම දෙයක්ම රුප සටහනක් ලෙසම සිතේ මෙලෙස සටහන් වි තිබිණි..

ඒ වන විටත් මා නාන කාමරය ඇතුලේ,අම්මා ශබ්දය නිසා දොර ඇරලා හයියෙන් කෑ ගහනවා ඇහුණා තාත්තට ගේ ඇතුළට වේලා ඉන්න කියලා.තාත්තා ඒ වේලාවේ හිටියේ ගේ ඇතුලේ.මමත් එ වේලාවේ වතුර කරාමය ඇරියා මතකයි.වතුර කරාමේ ගැලැවිලා උඩට විසි වුණා,හැම තැනින්ම වතුර ඉහිරෙන්න පටන් ගත්තා..හරියට උතුරන වතුර වගේ..මට වුනේ මොකක්ද කියලා හිතා ගන්නවත් අත්වැසිල්ලක් තිබුණේ නෑ.දණහිසෙන් උඩටම වතුර පිරිලා.
කරන්න කියලා කිසිම දෙයක් නොවු නිසාවෙන්ම මමත් නාන කාමරයෙන් එළියට පැන ගත්තට මාව විසි වෙලා මුළුතැන් ගේ පැත්තට ඇදිලා ගියා.අම්මයි තාත්තයි ත් ඒ පැත්තට ඇදිලා ආවා.නිවසේ තිබුණ බඩු හැම දෙයක්ම පා වෙනවා,එවයේ වැදෙන අපිවත් එහෙට මෙහෙට විසි වෙලා යනවා.ජල මට්ටමත් ටිකෙන් ටික ඉහළ නගිනවා,වෙනදට මුළුතැන් ගේ තියෙන කබඩ් එකකටත් හෙත්තු වෙනවටත් එක හෙළාම විරුද්ධ වෙන අම්මා ම අද එක උඩට නගිමු කියලා කෑ ගැහුව එකේ පුදුමයකුත් නෑ.ඒ තරමටම අපට කිසි දෙයක් කර කියා ගන්න බැරුව හිටියේ.එකත් හෙන උසයි කොහොම නැග්ගද කියලා හිතාගන්න බෑ තුන් දෙනාම නැග ගත්තා කබඩ් එක උඩට,එතන තිබුණ පොඩි කවුළු 2කින් අපිට එළියේ දර්ශන මනාව පෙනුණත් කිසි කෙනෙක් ගේ ශබ්දයක් පැහැදිලිව ඇහුනේ නෑ.අපේ නිවසම ජල කදකින් වසා ගෙන තිබුණා.වාහන,බඩු මුට්‍ටු,සත්තු වගේම ම්නිස්සුත් ඒ ජල කදත් එක්ක පොර බදිනවා අපට පෙනුණා.ඒ හැම දෙයක්ම අස්සේ මාලු වරල් ගගහා ඒ මේ අත දගලනව,ගෙම්බෝ,දිය නයි,කැරපොත්තොයි එක එක ජාතියේ සත්තු පිරිච්ච පාරාදීසියක් වෙන්න මහා ලොකු වේලාවක් ගත වුණේ නෑ.ගැස් එකත් ලික් වෙලා බව දැණුනු අපට දෙයියෝ,බුදුන් මතක් වෙන්න ගත්තා,අපි මර ළතොනි දෙන්න ගත්තා,මාත් අම්මත් තුන් පිරිත කියවන්න ගත්තට මොකද ඒ හැම දෙයක් ම පැටලිලා.
ජිවිතේ ගැන එච්චර බියක් දැනුණු දවසක්...අම්මටයි තාත්තටයි ඉන්න එකම දුව මම..,මෙච්චර කාලේකට දෙමව්පියන් වෙනුවෙන් මම මොනවද කළේ.. ??? ජල පහරේ වේගයත් පරදමින් සිතේ එක්තැන් වෙන ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න ගත් උත්සහය නහයටත් උඩින් වතුර පිරිලා හුස්ම පොදක් සොයම්න් සිටි මට කළ නොහැකි දෙයක් වුණා.ගිලෙන්න ඔන්න මෙන්න කියා තිබියදිත් මම වතුරෙන් උඩට පැන පැන ඉන්න ගත්තා.මට වතුර පෙවේන්න පටන් ගත්තා.මම හයියෙන් කෑ ගැහුවා.. "අම්මේ, වතුර ලුණු රසයි නේ..,තාත්තේ වතුර ලුණු රසයි..,මේවා ලුණු රසයි....."
"ඇයි... දෙයියනේ.... මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත්..මේ කෙල්ලට පොඩ්ඩක් ඉන්න බැරිද...?? ,මේ ජරා වතුර බොන්න යන්නේ....මේ වෙලාවේ බේරෙන්න ක්‍රමයක් හොයනවා මිසක් වතුර බිබි ඉන්න වේලාවක් ද...???? "එ අස්සේ අම්මාගෙනුයි,තාත්තගෙනු යිත් දොස් මුරයක්..ඇයි හත් දෙයියනේ අම්මටයි තාත්තටයි වඩා මම උසින් අඩුයි නේ..අර ජරා වතුර මම හිතලා බිව්ව යෑ..පෙවුනා මිසක්.. මෙලෝ සිහියක් නැතුව කෑ ගහපු අම්මටයි තාත්තටයි මම උසින් අඩු නිසා ගිලෙන්න යනවා කියලා තෙරුම් ගන්නත් ටික වේලාවක් ගියා.එත් එක්කම අම්මා ළග තිබුණු කවුළුවේ පඩිය උඩට කකුළ තියලා මාව දණහිස උඩට ගත්තා.. ඒ වන විටත් වහළත් ජල මට්ටමත් අතර වැඩි පරතරයක් නොතිබුණු නිසාවෙන්ම අම්මාත්,තාත්තාත් වහළට සමාන්තරව හිස ඉහළට කරගෙන හිටියට මට එහෙම ඉන්න බැරි වුණේ මගේ උස මට්ටම නිසාමයි.ජල මට්ටම එන්න එන්නම වැඩි විමක් මිස අඩු විමක් දක්නට නොලැබුණු නිසාවෙන්ම අම්මාගේ බලවත් විරෝධය මැද තාත්තා වහළ කැඩිමට ගත් උත්සහය අසාර්ථක වුණා.නිවසට හානි විම පිළිබද අම්මාගේ අප්‍රසාදයට හේතු වුයේ මෙය කුළි නිවසක් වු නිසාවෙන් බව මතක් කළ යුතුය.මගෙත්,අම්මාගෙත් වේදනාවෙන් පිඩිත වු මුහුණු දෙස බලා සිටිමට නොහැකි වු තාත්තා සිටි තැනින් මිදී කවුළුවෙන් එළියට යත්ම ගලාගෙන ආ යෝධ ජල කදක් හෙතුවෙන් තාත්තා ගසාගෙන යන්නට ඔන්න මෙන්න තියෙද්දි මාව කකුළට වාරු කර ගත් අම්මා ක්ෂනිකයෙන් ඉදිරියට පැන තාත්තාගේ කකුළේ වළලු කරෙන් අල්ලා ගෙන කවුළුවටම තද කරගෙනම හිටියේ මහත් පරිශ්‍රමයකින් බව මට හොදට මතකයි.
කොපමණ වේලා එසේ සිටියාද යන්න මට මතකයක් නැත.වරුවක් වන්නට ඇත.දවසක්මද යන්න මතක නැත.එම කාලය මට කල්පයක් සේය.එතනින් පසු අනෙක් සියල්ලන්ටම වාගේම අපිටද ඇදි වත පිටින්ම මහපාර හිමිවිය.පයට පා යුගලක් නොමැතිව එදා ජල කද පිරමින් ඇවිද ආවේ දහසක් මළ මිනි උඩින් බව සිහි වුයේ බොහෝ වේලාවක් ගත වුවායින් පසුවය.මා දු‍ටු හද කම්පා කරන දර්ශනයන් බොහෝය.දෙසවන් පුරා තවමත් දොන්කාර දෙන විලාපයන් බොහෝය.මා ළගින් දුරස්ව ගිය නෑදෑ හිත මිතුරන් බොහෝය.ඔවුනොවුන් මතක් කර ඔවුන්ට නිවන් සුව ප්‍රාර්තනා කිරිමට මෙය අවස්ථාවක් කර ගනිමි.එසේම අප ගැන සොයා බැලුවන් බොහෝය.වචනයකින් හරි උදව් කරපු අයද බෝහොය.ඔවුන්ට දස දහස් වාරයක් තුති පිදිමටත් මේය අවස්ථාවක් කර ගනිමි.එයත් එසේ තිබියදී සියළු මතකයන් නිවසක් තුළ නටබුන්ව බොද වී යද්දී,වසර 7ක් ගත වි යන මොහොතෙත් මේ මතකය පමණක් බුර බුරා සිත තුළ ‍රැව් දෙන්නට තරම් ප්‍රබල වී ඇත්තේ මා විදි වේදනාව මා හොද හැටි දන්නා නිසාය.එය මෙසේ අකුරු කිරිමටවත්,අකුරු කර අවසන් කිරිමටවත් නොහැකි බව මා හොද හැටි දනිමි..
ප.ලි- මාගේ ආදරණිය අක්කා කෙනෙකු මුහුණ දුන් සත්‍ය සිද්ධියක් ඇගේ වචන වලින්ම අකුරු කළ අතර..සුනාමියෙන් දහසක් දුක් විදි ජනතාව අතරේ මටද සුසුම් පොදක් හෙළිමට අවස්ථාවක් එළඹි ඇත්තේ මා ආදරය කළ සහොදරිය ගෙත්,ඇය ගේ දෙමාපියන් ගෙත් ජිවිත බේරා ගැනිම හෙතුවෙනි..!!!

10 comments:

පැණි දොඩම් said...

මතක අළුත් වෙන්න උදෙන්ම මම විඩියෝ ටික හොය හොය බැලුවා... දුත්බර මතකයක්...

Ruka said...

ආයෙත් මෙවන් විපතක් නොවෙවා..
කතාව ලස්සනට ලියල තියනවා......

Unknown said...

කොච්චර දෙයක්ද බේරුන එක..

Kavindya said...

දුක්බර මතකයක් හ්ම්ම්ම්

සයුරි said...

ජීවිතේටම අමතක නොවෙන දවසක්...

අසරණයා said...

කතාව දැනෙන්න ලියල තියෙනවා

රංග - මගේ ලෝකය said...
This comment has been removed by the author.
නුවන් said...

ඔන්න 96 වෙනියා විදියට මාත් එකතු උණා.
ඇත්තටම මේ අත්දැකීම අපි කව්රුත් මතක කරන්න අකමැති මතකයක් !
(ගාල්ල,මාතර අය විශේෂයෙන්)
ආපසු මෙවැනි සිදුවීම් අසන්නට,දකින්නට නොපතමි !

Unknown said...

මම දැනුයි මෙි පොස්ටි එක කියෙවිවෙි... ඇත්තම කියනවානමි, මම අදටත් දෙවියන්වහන්සේට ස්තුති වෙනවා මාවයි, මගේ පවුලේ අයවයි බෙිරලා දුන්නාට. මොකද අපේ ගෙදර තියෙන්නේ මුහුද ලග ඉදලා මිටර් 50-60ක් ඇතින්. එදා පණ බෙිරගත්තේනමි ලොකු හාස්කමකින්....!!!

ගොඩාක් හොදට ලියලා තියෙනවා!!!

Anonymous said...

දුක්බර මතකයන්..

ලියලා තියෙන රටාව හොඳයි..
අදයි කියවන්න ලැබුනෙ..මගෙ යාලුවෙකුත් සුනාමියෙන් අනූනවයෙන් බේරිලා තියෙන්නෙ..

--
හරී
http://dreamsofharee.blogspot.com/
--

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...